අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික බැදීම් හමුවේ දේශයේ අනාගතය..
21වන සියවසෙහි අප ගෙවමින් සිටින මෙම මොහොත වනාහි යටත්විජිතකරණය වඩා වෙනස්ම මාදිලියකින් නඩත්තු වන කාල පරිච්ඡේදයකි. විශේෂයෙන්ම භූ දේශපාලන අර්ථයෙන් යම් රටක් හෝ කලාපයක් අදවන විට තවදු රාජ්‍යයක් තම සියතට ගනු ලබන්නේ අවිආයුධ, බෝම්බ සහ යුධමය ක්‍රියාමාර්ග වලින්ම නොවේ. දෙවන ලෝක යුද්ධ සමයේදී පෝලන්තය ආක්‍රමණයට හිට්ලර්ටට කරන්නට හැකි වූ බර අවි යොදා ගැනීම්, 1945දී ජපානයේ හිරෝෂිමාවට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට ඇමෙරිකාවට හැකි වීම් තවදුරටත් අද ලෝක පැවැත්ම හා වලංගු නොවේ. එනම් 1950 වසරේ පමණ සිට ක්‍රමිකව ලොව සියලු ම ක්ෂේත්‍රයන් පාහේ ව්‍යාප්ත වූ ගෝලීයකරණය නිසාවෙන්ම අද රටක් බුද්ධිමය වශයෙන් ග්‍රහණයට ගැනීම වඩා පහසුම ආකාරයක්ව තිබීමයි. මේ නිසාම අද ලොව වටිනාම තොරතුරු වනාහි රාජ්‍ය බුද්ධි තොරතුරු වෙයි. සමස්ත රාජ්‍යයන් 234ක පැවැත්මෙහි පදනම මෙය වන බව කිව යුතුය. මෙකී පසුබිම් නිසා කුමන හෝ මහද්වීපයක සීමාවන් වැටකින් වෙන් වූවත්, ඵෙතිහාසිකව කුමන ගිවිසුම් පැවතියත් කිසිවිටෙකත් අසල්වැසියා පවා පූර්ණ ලෙස විශ්වාස කළ නොහැකිව තිබේ.
ලෝකය සෑම තත්පරයක් තුළදීම විවිධ දෘෂ්ටිවාද මත කල්ලි ගැහෙමින් යාවත්කාලීන වෙමින් පවතියි. මෙය වඩාත් තීරණාත්මක ලෙස බලපානු ලබන්නේ, ඕනෑම භූ කලාපයක ප්‍රමාණාත්මක ව විශාල රාජ්‍යයන් අසල පිහිටි කුඩා රාජ්‍යයන්ටය. අතීතයේ පටන් ඔවුන්ට සෑම විටම එකී විශාල රාජ්‍යයේ අණසක මත බොහෝ දුෂ්කරතාවයන් මධ්‍යයේ ඔවුන් මත යැපීමට සිදුව ඇත. හොදම උදාහරණය නම් උප මහද්වීපික ඉන්දියාව සහ ලංකාව අතර අනාදිමත් කලක සිට තිබෙන ගනුදෙනුවයි. මහින්දාගමනය, කාලිංග බලපෑම් සහ විවාහ ඇතුළු සංස්කෘතික ආක්‍රමණ ගත්කල වැඩිම ඵෙතිහාසික, සංස්කෘතික ආක්‍රමණ ගණනාවක් ලංකාවට එල්ල වී ඇත්තේ ඉන්දියාවෙනි. යුධ ආක්‍රමණ ගත්විටද, එදා සූරතිස්ස රජ දවස සේන – ගුත්තික වෙළඳ දෙබෑයන්ගේ සිට මහනුවර අවධිය දක්වා වැඩිම ආක්‍රමණ සංඛ්‍යාවක් එල්ලව ඇත්තේ ඉන්දියාවෙනි. එය සැබවින්ම ස්වාභාවික චර්යාවකි. එහෙත් අපට කිරීමට භාරධුර කර්තව්‍යයක් ඇත. එනම් කුමන අභියෝගාත්මක තත්ත්වයක් තුළ වුවද අප සියල්ලන් සමග සීමාව දැන කටයුතු කරමින් හැකිතාක් භූගෝලීය වශයෙන් රාජ්‍යයේ ස්වෛරීත්වය පවත්වාගෙන යාමයි.
එකී ප්‍රතිපත්තිය, ඉතිහාසය පුරාවටම නිසි ලෙස ආරක්ෂා කළ පාලන ව්‍යූහයන් කලාපීය වශයෙන් මහත් සේ කැපී පෙනෙයි. ඉන්දියානු අගම්පඩි හමුදා ආදිය අප තුරුලේ රඳවා ගත් අවස්ථාවල රාජ්‍ය මුළුමනින්ම පරජාතීන්ට අයිති වූ බව සත්‍යයකි. වර්ෂ 1017 අනුරාධපුර පරිහානියද, එවැන්නක් නිසාම සිදු වූවකි. අද මෙම පසුබිම් කතාවේ වත්මන් පරිච්ඡේදය දිගහැරෙමින් ඇත. විශේෂයෙන්ම මේ අප මුහුණ දී ඇත්තේ නිදහසින් පසුවන බරපතළම ඩොලර් හිඟයකට වන අතර එය අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවා පවා සපයා ගැනීමට නොහැකිවන ලෙස අර්බුදකාරී ඉසව්වකට විතැන් වෙමින් ඇත. මෙම තත්ත්වයට විසදුම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුවන අතර නොමැති නම් ද්වීපාර්ශවික වශයෙන් රාජ්‍යයන් සමග මූල්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමකට යා යුතු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් ලබා ගත්තද, එයින් සක්‍රීය ඵලයක් ලැබීම වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන නිසා නිසැකවම මේ වනවිට ඉතිරිව ඇත්තේ දෙවැනි විකල්පයයි. ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් සිටින මෙම අසරණ තත්ත්වය මනාව දන්නා නිසාම ණය සහ විවිධ දීමනා ලබා දීම හුදෙක් ලොව බලවත් රටවල් කිහිපයක් විසින් බොරදියේ මාළු බෑමක් ලෙස භාවිත කරමින් සිටී. මෙහිදී චීනයේ “එක් රටක්, එක් මාවතක්” (One belt, One road) යන සංකල්පය මෙන්ම ඉන්දියාව ඇතුළු 04 දෙනාගේ කල්ලියේ (ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔිස්ට්‍රේලියාව) නව ලිබරල්වාදී උපාය මාර්ගද අමතක නොකළ යුතුව ඇත. තවත් සියවස් ගණනාවකට තුන්වෙනි ලෝකයේ දරිද්‍රතාවය ණය උගුලක සිර කිරීමට මොවුන් දැන් මාන බලමින් සිටී.